ඒක එහෙම වෙන්න පටන් ගත්තෙ මම අට වසරෙ ඉන්නකොට අහම්බෙන් එයාගෙ කවියක් දැකපු වෙලේ ඉඳන්. ලක්බිම පත්තරේ අන්තිම පි‍ටුවෙ.. ඒකෙ මාතෘකාව වෙලා තිබ්බෙ "පිරිමි". කවදාවත්ම අමතක නොවෙන ලස්සන ඒ වගේම තියුනු කවියක්.
එදා ඉඳන් මම ලක්බිම ගත්තම බලන්නෙ සමර විජේසිංහ කියන නම කොහෙ හරි තියනවද කියල. එයා ලියපු කතා මම එකතු කලා.. "අපි දෙදෙනා සහ වෙනත් දෙන්නෙක්... වලාකුලු කෑල්ලක් වගේ ඒවා... "
පස්සෙ කාලෙක මට ඒ ඔක්කොම දාල යන්න සිද්ද උනත්.. සමර හැමදාම මගෙ හිතේ හිටියෙ කවදාවත් නැති නොවෙන විදිහට..
මට මතකයි මම ඉස්සර අම්මට කියනව සමර කියල කෙනෙක් හරි ලස්සනට ලියනව.. මම එයා කොයි වගේද බලන්න ආසයි කියල... කවදාවත් දැකලවත් මුණ ගැහිලවත් නොතිබුනත් එයා ලිව්ව සමහර දේ මගෙ හිත ඇතුලෙ තිබුනු, මට කාටවත් කියා ගන්න බැරි උන දේවල් කියල මට හැ‍ඟෙන්න පටන් ගත්තා..
අවුරුදු ගානකට පස්සෙ මූණු පොතේ කවි සංසදයෙ සමරගෙ කවියක් දැකපු වෙලාවෙ මට දැනුනෙ මගෙන් ගිලිහිලා ගිය මොකක්දෝ දෙයක් මම ආපහු හොයා ගත්තා වගේ. මම එයා ලියූ දේට කොමෙන්‍ටු එකතු කලා.. එයා ඒව කියවන බව දැනුනම මමත් ලියන්න පටන් ගත්තා.. මට හිතා ගන්න බැරි උනා මම ලියපු කිසිම වැඩකට නැති දෙයක් වගේ මටම හැ‍ඟෙන කවියක් සමර කියවනව කියල දැනුනම.. ඒ කාලෙ මම මූදෙන් එතෙර උන්නු කාලයක් නිසා පොත් පත්වල හිඟයක් තිබ්බා.. ඒ පිපාසෙ නිවා ගත්තෙ මම සමර ලියපු බ්ලොග් එකෙන්... තනිකමක් දුකක් දැනුන වෙලාවට නොසිදුවීම් කිහිපයක් කියවල සමරගෙ අකුරු අතරෙ මාවම හොයා ගන්න මම පුරුදු උනා..
මම කවදාවත් සමරව හැබැහින් දැකල නෑ.. කතා බහ කරලත් නෑ.. ඒත් මම සමරට ප්‍රේම කලා.. සෑහෙන්න.. ඒ ප්‍රේමය ඇති වෙන්න වගේම නැති වෙන්නත් ප්‍රස්තූතයක් තිබුනෙ නෑ. දසුනි කිව්වා වගේ ඔහු ඉතාම විනීත , වචනයේ පරිසමාප්තාර්තයෙන්ම මහත්මයෙක්.. ඔහු බලාගන හිටියා කුණා‍ටු එන හැටි නිශ්ශබ්දව.. ඉඳහිට කවියකින් දුකසැප ඇහුවා.. මහා වනස්පතියක් වගේ.. සමර...
දැන් දඬුවම විඳල ඉවර නිසා මම කැමතී දඬුවමට අදාල වැ‍රැද්ද කරන්න....
සමර නැති උනේ නෑ..
ප්‍රේමයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑ....

Comments

Popular posts from this blog

Forbidden

සුදු ටීචර්