සුදු ටීචර්
නැපෝලියන් හිටියේ මූන දකුණටබර කරගනය. බිත්ති කනුවට මුවා වී කොරිඩෝව දිහා බලාගනය. නැපෝලියන් ගේ හිත අන්තිමට සවුත්තුය. වෙනදා බෙල් එක හැඬූ හැටියේ පන්තියට එන සුදු ටීචර් තාම අද නැත.
"නැපෝලියන් වාඩි වෙනවා ඇවිල්ලා.. තමුසෙ ඔහොම කනු බදාගන ඉන්නව ප්රින්සියා දැක්කොත් සම්බෝලෙ මට නෙ.." මොනිය්ටරයාගේ කෘන්තක දත් බාගයක් රැඳි මුව මඩල එක සීරුවට ඛේටය විසුරුවයි. අනින්න හිතෙනව හොම්බට. දැන් නම් රතු කට්ට ඔන්න මෙන්නය..
" යූ ඉඩියට්..!!" නැපෝලියන්ගේ උගුරු දන්ඩට අංසභාග ය.
චික් තාමත් නෑ නෙ.
නැපෝලියන් ඉන්නේ අට වසර ය. ජාතියන්තර විදිහටය. අඩි පහක් පමණ වූ ඇත් දල පාට සිරුරේ ඉනේ සිට විලුඹ තෙක් නිල් පැහැති කලිසමක් දවටන් ය. ගෙල වටා නයෙක් මෙන් ඇඹරුන ටයි එක ය. ඉස්කෝලෙ එන්නේ ඉංග්රීසි උගන්නන සුදු ටීචර් බලන්නය.
සුදු ටීච ලස්සනය. කොන්ඩය නිතඹ තෙක් දිගය. ගස්ස ගස්සා යනෙනකොට බලන්නට ආසය. ඒ සියල්ලට වඩා ඈ නැපෝලියන්ට ආදරේ ය. පංතියට ආවිගස ඇය ගුඩ් මෝනිං කියන්නේ නැපෝලියන් දිහා බලාගන ය. නැපෝලියන් ට සිතෙන්නේ එහෙම ය. උගන්නන වෙලාවට මොන බූරු උත්තරය දුන්නත් කවමදාවත් නැපෝලියන්ට බැනවැදී නැත. ඉස්සර ඉංග්රීසි වහ කදුරු ය. දැං සුදු ටීචර්ට කැමති නිසා ඉංග්රීසි වලටත් කැමති ය. තරහ ගිය වෙලාවක සුදු ටීචර් බීට් අලයක් මෙන් රතු වෙනවාය. අනිත් උන්ගේ නම් කන් කෙටිද රතු වෙනවාය. ඒ ඇගේ සුසිනිදු ඇඟිලි තර ඇඹරීමෙන් ය. සුන්දර දඬුවමට කැමතිව නැපෝලියන් දෙවරක්ම ගෙදර වැඩ මඟ හැරියේය. ඒත් අර සුසුනිදු ඇඟිලි කන්කෙටි ඇඹරුවේ නැත.. ඒ වෙනුවට සුදු ටීචර් කලේ.. ඇයි පුතේ ඔහොම කරන්නෙ. තව ඉස්සරහට ඔයා මොනව කරන්නද හිතා ඉන්නෙ ඔහොම වැඩ කලාම යැයි නැපෝලියන් ගේ ඇස් දෙක දිහා බලන් ඇසීම ය. ඒ දඬුවම දුක්බර ය.. නැපෝලියන්ට දැනුනේ උගුරේ උනු අල ගෙඩියක් හිර උනා වගේ ය..
සුදු ටීචර් මුද්දක් දමා නැත..
පෙනෙන්නට බැරිම දේ සුදු ටීචර් අනිත් උන්ටත් පුතේ කීම ය.. නැත්තං ඩාර්ලිං කීම ය. ප්රින්සස්ට බඩේ අමාරුවක් හැදුන වෙලෙත් සික් රූම් එක්ක ගියේ සුදු ටීචර් ය. අර පිස්සු රිකාඩෝත් සුදු ටීචට කැමති බව වරක් දෙවරක් නැපෝලියන්ට හැඟෙන්නට කියා ඇත. ඒත් ඇවකාඩෝ හැඩැති රිකාඩෝ මුහුණට වඩා තමාගේ මුහුණ කඩවසම් බව නැපෝලියන් දන්නේ ය. සුදු ටීචර් පොත් බලන්නේ පන්තියට වැඩක් දී ලඟට අවිත් ය... තමා ලියන අතරේ ලඟට විත් පුතේ දිස් ඊස් රෝන්ග් කියනවාට නැපෝ කැමති ය.. ඒ වෙලාවට වටපිටාවම ලැවෙන්ඩර් සුවඳ ය..
අම්මා ඉන්න කාලයේ ආ සුවඳ මය...
දම්පාට වැහි දවසක් ය. දොරකඩ හිඳිනු වෙනුවට නැපෝලියන් විදුහල්පති කාමරයේ ය. සීරුවෙන් ය. මාරි බිස්කට් මුහුණ බිමට හරවාගෙන ය.. චෝදනාව කාන්තා වැසිකිලියේ හිඳ අහු වීම ය..
එදින සුළි කුණාටුව නම් නියම් ගම් සිසාර පැතිර.. .. - දැලි රැවුල එන්නට කලින් වනචර කමේ මුන්.!. - අම්මා දාල ගිහින් තාත්තා නැව් නැග...- මුන්ගෙ මහ උන්..- මෙලෝ වැඩක් කරන් නෑ අනේ පංතියෙ , කෑගහනව ඇර.... - යූ ඩොන්කි යුඅර් පේරන්ස් ආ ඕල්සො ඩොන්කීස්..- ෆූල්ස්.. - නෑ එක්කො අස් කරලම දාන්න ඕනෙ කවුන්සලින් ඇරල හදන්න බෑ මුන් වගේ උන්ව.. - මොකටද ගියෙ කොයි වෙලේද.. වට් ඩිඩ් යූ ඩූ.. - අනේ චන්දිමා දැකල තියෙන්නෙ.. මූ එනව ඒකෙ ඉඳන්....- ස්වාමීනී මාගෙ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි.. -මරිය මග්දලේනා.. -ඔන්න ගල් ... -කුරුසයේ ඇණ ගැසීම.. -කන්යාවක් පිලිසිඳ... බොරලු කැට කඳුලු බිඳු...- කෝ එයා.. -සුදු ටීචර්
මං දන්නවා රවීශය තමා ඒක කිව්වෙ.. අපි ඔක්කොම.. මියුසික් වලට ගිහින් එද්දි පෝලිමේ.. ඔව්... ඌට හදිස්සියෙ යන්න ඕන වෙලා.. බඩ කුරු කුරු ගාල... ගිහින් ඒකට.. නෑ කවුරුත් ඉඳල නෑ.. මූ කිව්ව ඒක ඇතුලෙ රෙස්ටුරන්ට් එකක් වගේ කියල.. කන්නාඩි දාල .. අපි යන එක වගේ නෙවේ කියල... ඉතින් අපි.. ඔව් මමයි .. පැතුමු යි.. චානුක යි... රිකාඩෝ යි.. තව දෙන්නෙකුයි.. අපි ගිහින් බැලුව.. ඇත්තමයි.. අපි එනකොට .. දොරෙන් එලියට... එතන චන්දිමා ටීචර්.. අනිත් උන් පැන ගත්තා..
සුදු ටීචර්.. මට මගේ අම්මව හොයල දෙනවද....
Comments
Post a Comment