ප්‍රේම පිළිල
ඒක නිල් ඉරි කමිසයක්. අඩි හයක් උස උත්තුංග දේහධාරී නිල් ඉරි කමිසයක්… ගේට්ටුව අරිනකොට මම හිටියෙ කොන්ඩෙ පීර පීර. එයා ඇවිල්ල ඉස්තෝප්පුවෙ වාඩි උනා. මා දිහා බැලුවෙවත් නෑ... හරි ශෝ.. ..මට මොකද… මම කැමති නෑ සෙවල පෙර පෙර අඬ අඬා පස්සෙන් එන පිරිමින්ට. ඉතිං අන්තිමට මොකද උනේ. එයා අඬ අඬා පස්සෙන් ආවෙ නැති නිසා මම තීරණය කලා මැයි මාසෙ දවසක එයාගෙ ටෙලිෆෝන් නොම්මරේ හොරකම් කරන්න. ..නිල් ඉරි කමිස කියන්නෙ සාප.. තව තවත් සංසාරෙ දික් කරන... ඊටත් ගෑනු ගති නැති ඔහොම කමිස.....!!
සපත්තු දෙකක් ගන්නකොට හොඳට හොයල බලල තමන්ට හරියටම ගැලපෙන එක ගන්න ඕන. ලස්සනට ඇහැ ඇදිල හිර සපත්තු කුට්ටමක් ගත්තොත් ජීවිත කාලෙම කකුල් කැපි කැපි ඒක දාගන යන්න වෙනවා. ගත්තම හරි යයි කියල හිතල කකුලට ලොකු දෙකක් ගත්තොත් ගැලවි ගැලවි ඒක දාන් යන්න වෙනවා.. .මිනිස්සුන්ට පේන්න.
දහිරිය තියන මිනිස්සු නොගැලපෙන සපත්තු ගලෝල දාල මං වගේ නිරුවත් දෙපයින් ගමන් යනවා තමා… ඒත් ඒ දහිරිය තියන මිනිස්සුනෙ... කොහොමත් දෙවියො මාව මවල තියෙන්නෙ තරාදියෙ උඩ යන පැත්තෙ හිටිය විදිහට.. එයා සපත්තු ගන්න ඔන්න මෙන්නලු.. සපත්තු දෙකක් තෝරගන ඉවරයි. ඒත් සමහර වෙලාවට තෝර ගත්තු සපත්තු වලට වැඩිය හොඳට ගැලපෙන සපත්තු උනත් පස්සෙ හම්බ වෙන සම්භාවිතාවක් තියනව.
ප්රේමතෝ ජායතී සෝකෝ.. ප්රේමතෝ ජායතී භයං... මම ඉතාම නිර්ලජ්ජී ලෙස ප්රේමයෙන් පසු වෙනවා.. ශෝකය සහ භය ප්රේමයේ වර්ධනයට අනුලෝමව සමානුපාතික වෙනවා...ශෝකයට මුල, අන්වස්තු ආශා කිරීම... එතකොට භයට හේතුව මොකක්ද.... ප්රේම භරිතව මෝඩ වැඩ කිරීම වෙන්න පුලුවන්... එයාගෙ නෝනට බබෙක් හම්බවෙන්න... මම මෝඩයෙක් නෙවේනෙ.. මම දැනගන්න ඕන කසාද බැන්දම බබ්බු හම්බෙනව කියල.. මට වික්සෝප වෙන්න දෙයක් තාම සිද්ද වෙලා නෑ..මෝඩ ගහ....!!
මම ව්යායාම කරනවා.. හිතට ව්යායාම... නිකන් සක්මන් භාවනාව වගේ.. ප්රේමය ඉවසිලිවන්තය.. ගුණවන්තය.. එකිනෙකා පාරට්ටු කර නොගනී... දෙවියන් වහන්සේ තහනම් ගහ මැව්වෙ මොකටද...! ඒක හින්ද තමයි මේ සේරම කරදර.. එයා පල්ලි යන්නේ නෑ.... ඒත් හරි තදින් දෙවියො අදහනවා.. මම..? මම අදහන්නෙ ප්රේමය.. බොහොම වෑයමින් ඊරිසියාවක් ඇති කර නොගනිමින් මම ප්රේමය අදහනව... තරාදිය ගැන තවදුරටත් කරදර වෙන්නෙ නෑ. ප්රේමයේ මහිමයෙන් මම පිළිලයක් බවට පරිවර්තනය වෙලා තියෙනව... පිළිල ගැන අහල තියනවනෙ..මම තවම රහත් වුනේ නැති නිසා සතුටු වෙන්න කාරණා ගොඩයි..
"විවාහය කියන්නෙ සමාජයීය අවශ්යතාවයක්. ඒකෙන් සිද්ද වෙන්නෙ ලමයින් හා ගැහැණුන්ගෙ අයිතිවාසිකම් රැකීමක් විතරයි. නිකන් කොන්ත්රාත් එකක් වගේ. ප්රේමය.. වෛරය වගේ සංකීර්ණ මිනිස් හැඟීම් මනින මිනුම්දණ්ඩක් තාමත් අපි අතර බිහි වෙලා නෑ. නීතිය හදන්නෙ මිනිස්සු.. නීතියට පටහැනිව යන උන් නීති විරෝධී කියල හංවඩු ගහන්නෙත් මිනිස්සු.. නීති විරෝධී කියන්නෙ හොර කියන එක.. හොර මත්පැන් , හොර සල්ලි .. හොර ගෑනු වගේ.. එතකොට නීතිය බිහි වෙනකොටම ඊට පටහැනි දේත් බිහි වෙලා ඉවරයි. අපි කොහොමද කියන්නෙ මේක හොඳයි මේක නරකයි කියල.. "
ඔය මිනිහ අත ඇරල දාල කසාදයක් කර ගනින් කියන මගේ උගත් මිතුරියන්ට මම උත්තර දෙන්නෙ එහෙමයි. උන්ගේ ජීවිත හරි සරලයි. දෙයියනේ කියල කසාදයක් බැඳගන.. ලමයෙක් දෙන්නෙක් හදාගන.. පවුලත් රැකගෙන.. හවස් වෙනකොට මේ ආදරයයි බලාගන ජීවත් වෙන්න තියනව නම් ආන්න එච්චරයි.. උන් පිලිල ගැන තේරුම් ගන්නෙ නෑ කවදාවත්..
මම අවසානයේ නිවෙමින් පැවතෙන්න තීරණය කරනවා. මෙතැන තරඟයක් නෑ. පිලිලයක් කපලා විනාශ කරන්න කරන්න තව තැනකින් දලු දානවා.. මැරෙනව නම් අපි දෙන්නම මැරෙමු වගේ.. උඹ මැරුනොත් මිනිය බදාගන අඬන්නවත් මට අයිතියක් නෑ කියන සිල්ලර
කාරනා වලට තැවෙන්නෙ නෑ පිලිල.. මම දන්නවා එයා උඩවැඩියා මලක් වෙන්න පුලුවන්. හැමදාම කහ පාට ලස්සන මල් පුබුදන. නිල් ඉරි කමිසයට නීතියෙන් හිමි වෙච්ච….ඒත් එයාගෙ තැන මට ගන්න බෑ වගේම මගේ තැන එයාට ගන්නත් බෑ කවදාවත්ම.. ප්රේම පිලිලයක් උපදින්නෙ මුලු ජීවිතේටම එක වතාවයි. අවසානයත් ආරම්භයත් එතැනමයි.
Comments
Post a Comment